Monday, September 30, 2019

නුඹ මා පෙම්වතියක් නොකළද
කුලුදුලේම නුඹ නිසා
වීමි මම පෙම්වතියක්.....
නූනත් කුලුදුලේම මං නිසා
නුඹ පෙම්වතෙක්
අහිතක් තිබුනෙම නෑ කවදාවත්....
ලැබෙනවනං ජීවිතේට
ලැබෙන්න ඕනෙම
පරිණත වෙච්ච ආදරයක්....
මං කෝඩුකාරියක්
නුඹ පුරුදුකාරයෙක්....❤
ආදර කන්ද නගින්න
ගත්ත විතරයි තවම මං
පහුකලා විතරයි සීත ගගුල
ඊළගට අහස්ගව්ව දැන්.....
ඒ කන්ද කරුණා කරන
දහසක් දෙනා අතර මං
තාම කෝඩුකාරියක්
ඒත් නුඹ පුරුදුකාරයෙක් .....❤
සමහරවිට මගදි මට මුනගැහේවි
නැගල බහින සමනල ජෝඩුවක් ❤


ඉහිරවපු හිත හදාගන්න සෑහෙන්න කල්ගියා දන්නවද මට ...............

මහලොකු ආදරයක් හිතේ තියාගෙන
මහලොකුවට හීන පොදි බැදගෙන
පොඩි අඩි තිය තිය - ඔයයි මායි ගියා
ඒ පාරෙ කෙළවරටම.........
අන්තිමටම ඒ පාර දිගට ගියේ
මහලොකුවට වැස්සක් අරගෙනයි -කළුවරේම
කලුම කලුපාට කුඩේකුත් ඉහලගෙන....
එදා මහලොකු හිනාවක් දැක්ක මං
තියෙනවා නුඹ ළග
මහලොකු අමුත්තක් දැනුනත් ඒ හිනාව යට
ආපහු හැරෙන්න බැරි තරං දුර
අපි ගිහින් ඉවරයි එතකොට ......
මහලොකු බිංදු පිරිච්ච ගවුම් කොටය මැද
පුංචිම පුංචි බිංදුව දැකල
ඉහිරිච්ච
කදුලක් බිමට වැටුන ඔහේ මහලොකුවට
ඉතින්, ඔයා ඉහිරවපු හිත හදාගන්න
සෑහෙන්න කල්ගියා දන්නවද මට......


ඇත්තටම අපි මංමුලා වෙච්ච තැන් ගොඩයි....

අග ඉදන් මුලට මුල ඉදන් අගට ගැලපුවම ජීවිතය
වැඩිපුරම තිබුනෙ කදුලු අස්සෙ සතුට හොයපු තැන්මයි නිතර
එකා පස්සෙ එකා වැටීගෙන හිස්තැන් පුරෝගන්න හදන එක තමා ජීවිතය
බලපන් සමහර වෙලාවට දැන දැනම අපි අපේ හිත් රවටන අපූරුව .......
දරාගන්න බැරි හැගීම් එක්ක පොරබදනව වෙනුවට
කවියක් එක්ක මුහුකරපන් හිරුදියේ කිමිදෙන්න
ඇත්තටම අපි මංමුලා වෙච්ච තැන් වල
කඩන් නොවැටී තිබුනෙම කවියක් වගේ ඔහේ ලියවෙන්න........



Sunday, September 29, 2019

මමයි රජු දුෂ්ඨගාමිණී
නුබෙ නමින් දාගැබ් හදපු
බොහෝවිට දණින් වැටි පුදපු
නිදන් කළ පෙම්කතා ඇති නොකියපු.......
රජෙක් උනත් හිත බිදපු
ඇයයි පාලි මහමෙරක් පෙම් කරපු
නොහැකි නිසා ඇය තැබුමට අන්තංපුරය නපුරු
තැනූ හද ගැබ වීය රැවන්වැලි සෑ රජු.....
නසනු බැරි නිසා අම පෙම මියුරු
මගෙ නමට එහායින් නුබෙ නමත් ලියමි සොදුරු
මහාවංශ දීපවංශ පවා බොරු කරපු
ඒ කතාවත් මුලාවක් ලෝකයට හංගපු......

 
නෙතු ගැස්සෙන හැමවෙලේම
හිත අස්සේ නුඹම ඉන්න
මල් වැස්සක් වගේ මහද
නොසිතු විලස කිතිකවන්න......
ආදරයේ සොදුරු පාට
හීන පුරා ඉහිරවන්න
දුරින් ඉන්න එපා ඔහොම
ඉක්මනින්ම මගේ වෙන්න.....
පාලු මකන නුබේ සුවද
හුස්ම වගේ ළග රැදෙන්න
මං ආසයි නුඹත් එක්ක
දුර හීනෙක අඩි තියන්න.....
මල් පොකුරක් අතේ තියන්
රන් හුයකින් හිත් බදින්න
පතන්නෙ මං හැමදාමත්
ඒ හීනය මගෙම වෙන්න....


Friday, September 27, 2019

උස තරුවක් කඩාගන්න ඕනෙමයි ඉනිමගක්
අඩියක් දෙකක් ලිස්සද්දි ආයෙමත් නගින්න තව පාරක්
ඉහළට යන්න යන්න තව සතුටු වෙන හදවතක්
උඹ දන්නවද දන්නෙ නෑ දැන් තමා දැනෙන්නෙ අහම්බයත් එක්තරා විදියක සතුටක්....

කාලයට පුලුවන් නං හැමදේම වෙනස් කරන්න
විරාමයක් මොකටද ඉහළ ගිය හුස්මකට ආයෙමත් පහළට එන්න
නෑ ඕනෙමයි දවසක අත්වැලක් තරුවකට රහසක් කියන්න
කඩාගත්තොත් වැරදිලා හරි තරුවක්
අහසින් මම
ඉනිමගක් තියෙයි ඒ කතාවෙත් කොහේ හරි තැනක.......


අයිති නැති තැන්වල රැදුනු අයිතිය....

කාජල් වැඩිපුරම ලස්සන
ශාරුක් එක්ක ඉන්නකොට
ඒත් ඇත්තටම කාජල් අයිති උනේ
දඩබ්බර අජේට......
අයිශ් වැඩිපුරම හැඩ
සල්මන්ගෙන් හාදුවක් ලැබෙද්දි
ඒත් අයිශ් ඇත්තටම අයිති උනේ
හිතුවක්කාර අභිෂේක්ට.....
දීපිකා වැඩිපුරම සංවේදී 
රන්වීර්ගෙ ඇස් ඉස්සරහදි 
ඒත් ඇත්තටම දීපිකා අයිති උනේ
සෙල්ලක්කාර සිං ට.....
කරීනගෙ ආදරේ දෝරෙ ගැලුවෙ ෂාහීඩ් ළගදි
ඒත් ඇත්තටම කරීනා අයිති උනේ හිතාගන්නවත් බැරි විදිහට සාහිෆ්ට...
ආලියට ගැළපෙනම පෙම්වතා වරුන් උනාට දැන් එයා අයිති වෙන්න යන්නෙ කටකාර රන්බීර්ට....
ඉතින් ඔයා වැඩිපුරම කැපෙන්නෙ
මං එක්ක ඉදිද්දි 
බොරුද කියල බලන්න එකම එක පාරක්
ගමුද අපි ෆොටෝ එකක්
ඔයාගෙ වෙඩින් එක දවසෙදි......

Thursday, September 26, 2019

ජීවිතේ හරි බරපතල සංකීර්ණ දේවල්අපි කතාකරේ එතන කිරිහල ළග බෙන්ච් එක උඩ🍶

රු: 80 කල්කිරි බෝතලයකට
පුලුවන් උනා ජීවිතේ
ගැඹුරුම සංවාද වලට මුලපුරන්න.....

අපි කතා කරා හිනා වුනා
රහසක් කියල දෙයක් නැතිවෙන තරමටම
කල්කිරි බෝතලේකට පුලුවන් උනා
අපේ හිත්  කියවන්න.....

සමහරක් ලස්සන හීන හැබෑ නොවීම
අමතක වෙනව වගේ කල්කිරි බෝතලෙත්
ඉවර උනා හරි ඉක්මනට
ඒත් අපි තව කතා කරා .....

සතියකට වතාවක් හරි මෙහෙම කතා කරල හිත හෑල්ලු කරගත්තහම හිතට සනීපයි
අපි කිව්ව ....
හිතපන්,
අපේ ජීවිතෙත් හරියටම පැක් කරපු කල්කිරි බෝතලේ වගේ
නිෂ්පාදිත දිනය කල් ඉකුත්වීම ආවෙ කොහෙන්ද අඩංගු මොනවද සේරම දේවල් කලින්ම ලියල
ඒත් අපි තාම කිරිහල ළග ඇත්තටම අපි කවුද කියල හොයන ගමන් ........ ජීවිතේ එහෙමයි හිතන්නැති තැන්වල හිතන්නැති අය ළග හරි ලස්සනට පැක් වෙනව... කල්කිරි වගේ


Wednesday, September 25, 2019

උඹල සමනල්ලු වෙයන් කවදහරි
මං ගොලුබෙල්ලෙක් හරි වෙන්නං කොහොමහරි
දවසක අපි නගිමු එකට සමනොළ ගිරි
මං එනකං ඉන්නවද නැවතිලා කොතැන හරි..... 
උඹල හරි වේගෙන් ඉගිලෙයි මටත් කලින්
අරුණැල්ල පායයි සමහරක් විට ඊටත් කලින්
අමතක නොකරම හැරමිටි පානෙදි නැවතිලා ටිකක් හරි
වරුවක් හරි හති ඇරපන් මං එනවද බල බලා හෙමින් හරි.......
සිරි පතුල ගාවදි තියල අපි දෑත් පොදි
ඉස්සර වගේම හිනහෙමු එක පාරක් හරි
ඉදි කටු පානෙදි පැටලුනු ජීවිතේ නූල් පොදි
ලිහමු අපි එකින් එක සමනොළ කන්ද පාමුලදි.....

නොහිතනා තැන්වල තමා ආදරය තිබුනෙම මහමෙරක්....

උස් කදු මුදුන්වල තියෙන ආදරය හරි පරිස්සං
නොපෙන්නුවට සමහරක් කලුගල් පවා හරි මුදුමොලොක්
කොයින්ද හදවතේ දෙපැත්තෙම එකවගේ ගැස්මක්
නොහිතනා බොහෝ තැන්වල තමා තිබුනෙම ආදරය මහමෙරක්....
හදවතේ දෙපැත්තෙම එකවගේ ගැස්මක්
සදක් උව රැයක හැඩ තිබුනමයි ලපයක්
වැස්සකටවත් නොතෙමුනු හැගුම්වල පැහැයන්
දේදුන්න හැදුනෙත් එක්වෙලයි හැඩපාට මහ ගොඩක්....
වචන වලට වඩා ඇතැම් විට නිහඩ බව බලවත්
නාදුනන් අයවලුන් පවා මුනගස්සන ජීවිතයක්
ආගමක් නොවුනත් අහඹුව උනත් විටෙක ඇදහීමක්
කැඩුණු පසු රුවලක් හබල උව නැවකට එක්තරා වාරුවක්....
හිරවෙනා හුස්මකට බය සළඹ හදවතක්
ඉල්ලනෙම එක දවසක් හරි වැඩිපුර
වෙන්න ජීවත්
සිතියමක් උඩ රටවල් දෙකක් තරං දුරක්වත්
නැහැ අපි අතර තිබුනෙම ආදරය විතරමයි හැමදාමත්.....


අලුයමේ මැටි පොළව යන්තමට සිම්බා....

අ යනු ආ යනු ලියනු බැරි අම්මා
අල්වා මගේ අත අම්මා යැයි ලියෙව්වා
හැල්මේ මා සිප් හලට යවලා
ඈ වත්තෙ දළු නෙලන්නට යනවා....

කදුලු කරගැට බවට හරවා
මා දෑත් පොත් පිටු තරම් සුමට කරවා
රෑ පුරා නොනිදා රෑ පහන් කරලා
අලුයමේ මැටි පොළව යන්තමට සිම්බා...

ඉරක් උනු පියෙක් ගැන නොසිතා
රැවුම් ගෙරවුම් මැදින් ඈ සිට ගත්තා
පනං දෙක තුනක් ඉනේ හංගා
සරසවිය දිහාවට ඈ දෑත් දිගු කෙරුවා....

නුහුරු බව යන්තමට හිස ඔසවා
ලාභ හීන මං අහකට විසි කෙරුවා
ගිලුණු ඇස් යන්තමට මතක් වීලා
නිතර බත් ඇට පපුව මැද හිරවුණා ....

කප්පරක වෙහෙසකට අද ඉදන් තිත තියලා
හිනහෙන්න පුලුවන් අම්මට දුව දිහා බලලා
බර වැඩියි මට මේ කලු කබා කම්බා
අයිති නුඹටයි අම්මෙ දැන් පිසදමන්න ඔය කදුලු ගංගා.....



අහසට ගෑවෙන ගොඩනැගිලි අස්සෙ
හැංගුවා බඩගින්න නොදැනෙන්න රහසෙ
උරච්චි කර කරා මහ උන්ගෙ බඩ ගෝස්තරේ
පුංචි උන් වැළලුනා පාදමට ටිකක් උඩ අත්තිවාරමේ....

කරකැවෙන හෝටල් සෝපාන මැද්දෙ
කදුලු ලුණුරස දියවුනා නොදැනීම කුස්සිය මුල්ලෙ
පොල්ගස් බඩගාන අප්පච්චි කිව්වෙ
කුලුනක් ගහලලු කොළඹ නෙලුමක් වාගේ...

බඩගින්න ඔඩු දුවන 365 දවසෙ
බේරෙ වැව වගේ හිත යන්තමට හුස්මක් ගත්තෙ
මුඩුක්කු පේළියේ අන්තිම කෙළවරේ ගැට්ටෙ
නෙලුම් අල තම්බලයි රෑට අපි කෑවෙ....

සමහරක් දාට අනුන්ගෙ පිලිකනු ගානෙ
විසිකරපු දංකුඩ ඔච්චමට අපි දිහා බැලුවෙ
ඉගිලෙන කලු ඩිපෙන්ඩර් රථ රෑනෙ
අන්තිමට ජයවේව කියන්න විතරමයි අපි හිටියෙ....

පපු හිස් වෙච්ච ඔලු පුරවන සමාජ ක්‍රමෙ
සිල්‍ රෙද්දට හිටං වලදාපු උන් පෝළිමේ
හද ඉල්ලලා අඩන මගෙ හීන් මල්ලියේ
ආං බලපන් හදටත් උඩින් කවුද කුලුනක් ඇදල ආකහේ.... ❤


Tuesday, September 24, 2019

නීලමණී නුඹට,.....

නුඹ චපලයි කියද්දිත් ලෝකයම
තාමත් ආසම මැණික නිල් මැණිකයි මම
යන්න කලින් කිව්වනං නිකමට හරි නුඹ
ගෙනිහින් භාරදෙනව හිත තද කරන් කොහොමහරි මම......

ඔබෙන් තොර ලොවක් මට තිබුණද
කොයිතරම් නං මං නුඹට ආදරය කලාද
ඔබ වෙනුවෙන් ආත්ම කීයක් නං පෙරුම් පිරුවද
මං වෙනුවෙන් ඔබ හැමදාම ඉදී කියල මං හිතුවද....

මලක් උනත් හැඩ දුරින් ඉදන් සිප ගන්නකොට
ඒකයි ඉක්මන් නොවුනෙ මගේම කරගන්න මං නුඹ
එක හුස්මකින්වත් වැරදිලා හරි ඔය මුදුවත
ඉදුල් වෙයි කියල  යටිහිතේ තිබ්බ බයට.....

සීතලම කදුලක් නවතිද්දි දෑස් අග
නුඹ තුරුලු උනේ මගේම නොවෙන මගේම හදවතකට
අයිතියක් නැති තැන්වල නැවතුනාම නිතර
සමුගැනීමටත් වඩා අසීරු උනා නුඹ නොදැන කිව් සමහරක්  වචන....

කිලුටක් උනානං මගෙ අතින් සමාවෙන්න
ඔපදාන්නයි හිටියෙ කවදහරි මං අතින් මගෙ මැණික
යන්නට කලින් තව එක සැරයක් මුවගින් මට
නොකියා ආදරේ බව සිනහවක් යන්තමට  හෙලනවද.....

අසංග ගෙන් ❤