Wednesday, September 25, 2019

අහසට ගෑවෙන ගොඩනැගිලි අස්සෙ
හැංගුවා බඩගින්න නොදැනෙන්න රහසෙ
උරච්චි කර කරා මහ උන්ගෙ බඩ ගෝස්තරේ
පුංචි උන් වැළලුනා පාදමට ටිකක් උඩ අත්තිවාරමේ....

කරකැවෙන හෝටල් සෝපාන මැද්දෙ
කදුලු ලුණුරස දියවුනා නොදැනීම කුස්සිය මුල්ලෙ
පොල්ගස් බඩගාන අප්පච්චි කිව්වෙ
කුලුනක් ගහලලු කොළඹ නෙලුමක් වාගේ...

බඩගින්න ඔඩු දුවන 365 දවසෙ
බේරෙ වැව වගේ හිත යන්තමට හුස්මක් ගත්තෙ
මුඩුක්කු පේළියේ අන්තිම කෙළවරේ ගැට්ටෙ
නෙලුම් අල තම්බලයි රෑට අපි කෑවෙ....

සමහරක් දාට අනුන්ගෙ පිලිකනු ගානෙ
විසිකරපු දංකුඩ ඔච්චමට අපි දිහා බැලුවෙ
ඉගිලෙන කලු ඩිපෙන්ඩර් රථ රෑනෙ
අන්තිමට ජයවේව කියන්න විතරමයි අපි හිටියෙ....

පපු හිස් වෙච්ච ඔලු පුරවන සමාජ ක්‍රමෙ
සිල්‍ රෙද්දට හිටං වලදාපු උන් පෝළිමේ
හද ඉල්ලලා අඩන මගෙ හීන් මල්ලියේ
ආං බලපන් හදටත් උඩින් කවුද කුලුනක් ඇදල ආකහේ.... ❤


No comments:

Post a Comment